ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනය පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් කෙන්යාවේ නයිරෝබි නුවරදී පවත්වා තිබේ. දකුණු ආසියාව හා නැඟෙනහිර අප්‍රිකාව යා කෙරෙන ආර්ථික හවුල්කාරීත්වයක් උදෙසා නයිරෝබි නුවර බ්රිටම් ටවර්ස් හිදී පැවති මෙම අවස්ථාව සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් 180ක් පමණ එක්ව ඇත.
අපේක්ෂිත 2027 ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනය පිළිබඳව කෙන්යානු ව්‍යාපාරික ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා නයිරෝබිහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉක්විටි බෑන්ක් කෙන්යා ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. කෙන්යාවේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් රුවිනි ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට නයිරෝබි ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාර එන්ජොරොගේ මුචිරි මහතා ඇතුළු දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.
මෙහිදී වැඩබලන මහ කොමසාරිස්වරිය දෙරට අතර වාණිජ සහ ආයෝජන සබඳතාවල වැදගත්කම පෙන්වා දුන් අතර, වෙළෙඳාම, ලොජිස්ටික්ස්, තාක්ෂණ, කෘෂිකර්ම, මූල්‍ය සේවා සහ සංචාරක ක්ෂේත්රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ආසියානු වෙළෙඳපොළ වෙත නැඟෙනහිර අප්‍රිකාවේ දොරටුව ලෙස නයිරෝබි නගරයේ වැදගත්කම සහ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳවද මෙහිදී විශේෂ දේශන පවත්වන ලදී. දකුණු ආසියාවේ සහ අප්‍රිකාව අතර වාණිජ සබඳතා වර්ධනය කර ගැනීමටත්, දිගුකාලීන හවුල්කාරීත්වයන් ගොඩනඟා ගැනීමටත් මෙමඟින් විශාල පහසුකම් සැලසෙනු ඇත.
















