ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීම සඳහා වර්ගමීටර 2000ක සුවිශේෂී ගබඩාගාර පහසුකමක් නොමිලේ සැපයීමට චීනයේ කුන්මින් (Kunming) නගරය එකඟතාව පළ කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කුන්මින් නගරයේ ආණ්ඩුකාරවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම අනර්ඝ අවස්ථාව හිමිව ඇත.
චීනයේ කුන්මින් නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ (11) ආරම්භ වූ ’10 වැනි චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනයේ’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද සහභාගී විය.
ලැබුණු මෙම නොමිලේ ගබඩා පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා කුන්මින් වෙළෙඳපොළ තුළ විශාල වෙළෙඳ සබඳතා ජාලයක් ගොඩනඟා ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහ 30 වන චීන කුන්මින් ආනයන සහ අපනයන ප්‍රදර්ශනය හරහා ලාංකීය අපනයනකරුවන්ට නව ගැණුම්කරුවන් සොයා ගැනීමට මඟ පෑදෙන බවත්, රජයක් ලෙස ඊට උපරිම සහය දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. චීනය සහ දකුණු ආසියානු රටවල් අතර ආර්ථික, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව ශක්තිමත් කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම කලාපීය ප්‍රදර්ශනය සැලකේ.















