‘දිට්වා’ ආපදා තත්ත්වය හමුවේ රටේ සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සේවා රැසක් “අත්‍යාවශ්‍ය සේවාවන්” බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරුණු බලතල අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, ඊට ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා අත්සන් තබා ඇත.
මෙම විශේෂ නියෝගය යටතේ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන සහ සමුපකාර සමිති මඟින් සපයනු ලබන ක්ෂේත්‍ර රැසක සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. ඒ අනුව, විදුලි බලය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම මෙන්ම, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලාවල රෝගී සත්කාරක සේවා සහ ගිලන් රථ සේවාවන් මීට ඇතුළත් වේ. මීට අමතරව පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන් තොටුපළවල් නඩත්තු කිරීමේ කටයුතු ද අත්‍යාවශ්‍ය කර ඇත.
ජනතාවට ජල සැපයුම, ජලාපවහනය, වාරිමාර්ග සේවා, කසළ ශෝධනය, කුණු ඉවත් කිරීම, ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම, දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සේවාවන් ද මීට අදාළ වේ. එමෙන්ම, සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන් සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන්ගේ සේවාවන් ද මෙම නියෝගයට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු, රක්ෂණ සේවා, කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා මෙන්ම පහත් බිම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සේවාවන් ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක වනු ඇත.















