ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. අදාළ නිවේදනය ඔක්තෝබර් 24 වනදා පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත, කුරුවිට සහ රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ අරණායක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලිඇල සහ ඌව පරණගම යන ප්රදේශ සඳහා නිකුත් කර ඇත. කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්රදේශවලටත්, කළුතර දිස්ත්රික්කයේ හොරණ සහ මතුගම ප්රදේශවලටත් මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.
මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොලුව, මිණිපේ, උඩපලාත, කුණ්ඩසාලේ සහ මැදදුම්බර යන ප්රදේශ සඳහා ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොළ ප්රදේශවලටත්, කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම, ඉබ්බාගමුව, රිදීගම සහ ගනේවත්ත ප්රදේශවලටත් එම අනතුරු ඇඟවීම අදාළ වේ.
මොනරාගල දිස්ත්රික්කයේ මැදගම ප්රදේශයටත්, නුවරඑළිය දිස්ත්රික්කයේ මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර ප්රදේශවලටත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
රත්නපුර දිස්ත්රික්කයේ අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක සහ පැල්මඩුල්ල යන ප්රදේශ සඳහා ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්රදේශවල ජනතාව වර්ෂා තත්ත්වය සහ නායයෑම් අවදානම් ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. නායයෑම් අවදානම් ලක්ෂණ දක්නට ලැබුණහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස දැනුම් දී තිබේ.
















