මෝටර් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම පසුගිය 2025 වසරේ මැයි මස 16 වැනි දින නතර වූ පසු, මෙම වසරේ (2026) මාර්තු මස දක්වා ලියාපදිංචි කළ වාහන සඳහා අංක තහඩු ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තවමත් අපොහොසත් වීම හේතුවෙන් වාහන හිමියෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම තත්ත්වය යටතේ 2025 වසරේ මැයි මස 16 වැනිදා වාහනයක් ලියාපදිංචි කළ අයෙකුට වසරකුත් මාස තුනක කාලයක් ගතවී තිබුණද තවමත් නිල අංක තහඩුව ලැබී නොමැති අතර, ඒ සඳහා රුපියල් 2,000කට අධික මුදලක් ද ගෙවා ඇත. නව සැපයුම්කරුවෙක් යටතේ පසුගිය ජූනි මස 8 වැනිදා අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ අවස්ථාවේදී අංක තහඩු ගැටලුව අවසන් බව බලධාරීන් පැවසුවද, මාර්තු 10 වැනිදා එළඹුණු නව ගිවිසුමට ඊට පෙර ගොඩගැසී තිබූ අංක තහඩු මුද්‍රණය කිරීම ඇතුළත් කර නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබේ.
වාහන අංක තහඩු ලක්ෂ 5ක් වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 100කට අධික මුදලක් ජනතාවගෙන් අය කර ඇතත්, සේවාව නොලැබීම නිසා ජනතාව අමාරුවක වැටී ඇත. මීට අමතරව, වාහනවල අංක තහඩු නොමැතිවීම හෝ ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් පොලිසිය නිරන්තරයෙන් දඩ පත්‍රිකා නිකුත් කිරීම නිසා මහජනතාව තුළ දැඩි ව්‍යාකූලත්වයක් සහ අපහසුතාවක් නිර්මාණය වී තිබේ.














