අත්අඩංගුවට ගනු ලබන විෂ මත්ද්‍රව්‍ය තොග අධිකරණ කටයුතු අවසන් වන තෙක් රඳවා නොගෙන, ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව සහ අදාළ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ අරමුණින්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවේ යෝජනා සහ එහි නෛතික රාමුව මෙහිදී ජාතික සභාවේ විමර්ශනයට ලක් විය.
මෙම නව නීති සංශෝධනවල අවසන් අදියර කඩිනමින් සම්පූර්ණ කර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.















