විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) මහලේකම් නූර්ලන් යර්මෙක්බයෙව් මහතා අතර නිල හමුවක් විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි. ශැංහයි සහයෝගීතා සංවිධානයක මහලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේදී මෙවැනි නිල සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එස්.සී.ඕ සාමාජික රටවල් අතර සංචාරක කර්මාන්තය, ප්‍රවාහන හා ලොජිස්ටික්ස් සහ කෘෂිකාර්මික අංශවල සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව දෙපාර්ශ්වයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාව එස්.සී.ඕ මුලපිරීම් සඳහා සම්බන්ධ වීමට පවතින උනන්දුව ප්‍රකාශ කළ විදේශ අමාත්‍යවරයා, මෙරටට ආයෝජන සහ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
සිය නිල සංචාරය අතරතුර මහලේකම් නූර්ලන් යර්මෙක්බයෙව් මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.















