ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති අතර, තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ ස්ථාපිත කර ඇති ‘Somerset ECO’ අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය (MCPC) මුළුමනින්ම ජල විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙරට ප්‍රථම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස විවෘත කර තිබේ. ශ්‍රී ලංකාවේ අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කාන්තා හා තරුණ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ ‘SWYFT’ ව්‍යාපෘතිය යටතේ කොකා-කෝලා පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ Janathakshan ආයතනයේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers කටයුතු කරයි.
මෙම මධ්‍යස්ථානයේ සියලු මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය බලශක්තිය නානුඔය ගංගාව ආශ්‍රිතව පිහිටි කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයකින් සපයා ගන්නා අතර, අපද්‍රව්‍ය එකතු කිරීමට යොදාගන්නා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ සහ බයිසිකල් ආරෝපණය කිරීම (charge කිරීම) සිදු කරන්නේද මෙම පුනර්ජනනීය බලශක්තියෙනි. නුවරඑළිය, නානුඔය, ආගරපතන, තලවකැලේ, රම්බොඩ සහ හැටන් යන ප්‍රදේශවලින් එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම වළක්වාලමින් ජල මූලාශ්‍ර සහ ඉහළ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට ද මෙමඟින් විශාල දායකත්වයක් ලැබේ. කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන මෙම මධ්‍යස්ථානයට මසකට ප්ලාස්ටික් බෝතල් මෙට්‍රික් ටොන් 3ක් පමණ ප්‍රතිචක්‍රීයකරණය සඳහා සකස් කිරීමේ ධාරිතාවක් පවතින අතර, එය ප්‍රදේශයේ අවිධිමත් කසළ එකතු කරන්නන් 10කට වැඩි පිරිසකගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීමටද උපකාරී වේ.
















