ආසියානු කුසලාන 20න් පහළ තරගාවලියේ මියන්මාරයේ යන්ගොන්හිදී පැවති ශ්රී ලංකා – මාලදිවයින් තරගය නිමාවීමෙන් පසුව ඇති වූ කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලංකා 20න් පහළ සහය පාපන්දු පුහුණුකරු මොහොමඩ් ඉම්රාන් මහතාට අමෙරිකානු ඩොලර් 5000ක (ශ්රී ලංකා රුපියල් ලක්ෂ 16.5ක පමණ) දඩ මුදලක් ආසියානු පාපන්දු සම්මේලනය විසින් නියම කර තිබේ.
මෙම දඩ මුදල ගෙවීම සඳහා මාසයක කාලයක් ලබා දී ඇති අතර, එසේ නොවුණහොත් දැඩි ජාත්යන්තර තහනමකට මුහුණ දීමට සිදුවනු ඇත. සිද්ධිය වූ වහාම සහය පුහුණුකරු තනතුරින් නෙරපා දැමීමට පියවර ගත් බවත්, ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඉදිරියේදී වසර දෙකක තහනමක් පැනවීමට සාකච්ඡා කරමින් සිටින බවත් පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය. මාලදිවයින් නායකයාගේ ප්රකාශයකට ප්රතිචාර දැක්වීමක් ලෙස මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ අතර, ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මාලදිවයින වෙත සමාව ඉල්ලා ලිපියක් ද යොමු කර ඇත.
















