විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් ද මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවය. අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී හැකි ඉක්මනින් පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.
මේ හේතුවෙන් දැනටමත් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කරගෙන ඇති අයදුම්කරුවන්ට, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ නවතම දැනුම්දීම් සඳහා ‘e-Channeling’ පද්ධතිය කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී. පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම හදිසි බිඳ වැටීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කොන්සියුලර් කටයුතු අංශය සිය කණගාටුව පළ කර සිටියි.















