ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා තිබූ අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අහස වලාකුළින් බරව පවතිනු ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක පවුල් 1,574කට අයත් පුද්ගලයන් 5,242ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. අධික වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගැලීමෙන් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතින නමුත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගංගාවල ජල මට්ටම් මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතින බවයි.















