ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වන ශ්‍රමිකයන්ගේ පවුල්වල යැපෙන්නන් වෙත ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් මිලියන 2 ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මෙතෙක් පැවති ක්‍රමවේදය යටතේ හිමිවූ අවම වන්දි මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම සහ විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් මුහුණපාන දැඩි ආර්ථික අර්බුද හමුවේ මෙම තීරණය ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැළකෙන අතර, විදෙස් රටවල ශ්‍රමික සුබසාධනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පැවති සමාජීය අවශ්‍යතාවකට මෙයින් විසඳුම් ලැබී ඇත.
දැනට ක්‍රියාත්මක රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ හිමිවන රුපියල් ලක්ෂ 6 ක මුදලට අමතරව, කාර්යාංශයේ විගමනික ශ්‍රමික සුබසාධන අරමුදල මගින් තවත් රුපියල් ලක්ෂ 14 ක අතිරේක මුදලක් මෙම නව වැඩපිළිවෙළ යටතේ ගෙවනු ලබයි. මෙම නව ක්රමයේ පළමු අදියර යටතේ මියගිය ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ පවුල් සඳහා රුපියල් මිලියන 70 ක අතිරේක වන්දි මුදලක් ප්රදානය කර ඇති අතර, 2025 ජුනි 25 වන දින හෝ ඉන් පසු සිදුවූ අදාළ සුදුසුකම් සපුරාලන මරණ සඳහා මෙම වන්දිය හිමිවේ. විශේෂයෙන්ම, මෙම වන්දි වැඩි කිරීම වෙනුවෙන් ශ්‍රමිකයන්ගෙන් හෝ නියෝජිත ආයතනවලින් කිසිදු අමතර රක්ෂණ වාරිකයක් අය නොකෙරෙන අතර, ඒ සඳහා වාර්ෂිකව වැයවන රුපියල් මිලියන 231 ක පමණ අතිරේක මුදල සම්පූර්ණයෙන්ම සුබසාධන අරමුදල මගින් දැරීමට අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවීම රටේ ආර්ථිකයට විශාල පිටුවහලකි.
මෙමඟින් විදේශ රැකියා සඳහා රටින් පිටව යන ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමාජ ආරක්ෂණය තවදුරටත් තහවුරු වන අතර, ඉදිරියේදී අභියෝගවලට මුහුණ දෙන පවුල් වෙත මෙවැනි සුබසාධන ප්රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය. විදෙස්ගත ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට ලබාදෙන දැවැන්ත දායකත්වය සළකා බනිමින්, ඔවුන්ගේ ජීවිත සහ පවුල්වල සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන මෙම ආයතනික යාන්ත්‍රණය ඉදිරියේදී තවදුරටත් විධිමත් හා පුළුල් වනු ඇති බවට විශ්වාස කෙරේ.














