ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී මෙරට ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 886ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වසරේ (2025) අප්‍රේල් මාසය හා සැසඳීමේදී 149.9%ක විශාල වැඩිවීමකි.
මෙම වියදම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු කිහිපයක් මහ බැංකුව පෙන්වා දෙයි. මැද පෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ මෙරට ඉන්ධන ආනයන පරිමාවේ සිදුවූ වැඩිවීම ප්‍රධාන වේ.
අප්‍රේල් මාසයේ ඉන්ධන ආනයන වියදම සලකා බැලීමේදී පිරිපහදු කළ ඛනිජ තෙල් සඳහා ඩොලර් මිලියන 734.6ක්, බොරතෙල් සඳහා ඩොලර් මිලියන 108.1ක් සහ ගල් අඟුරු සඳහා ඩොලර් මිලියන 43.4ක් වැය වී ඇත. 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාව දරා ඇති සමස්ත ඉන්ධන ආනයන වියදම ඩොලර් බිලියන 2.16කි. 2025 වසරේ මුල් මාස හතරෙහි මෙම වියදම ඩොලර් බිලියන 1.41ක්ව පැවති අතර, එය 53.6%ක ඉහළ යාමකි.















