ශ්‍රී ලංකාව තුළ මැණික් බැංකුවක් (Gem Bank) ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සවිස්තරාත්මක යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය අදාළ රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා මෙරට මැණික් ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා නව මාවතක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිලකසිරි විතාරණ මහතා විසින් මෙම විශේෂ යෝජනාව පසුගිය 10 වැනිදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. ලිපිය යොමු කර පැය 48ක් ගත වීමටත් පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබඳව අවධානය යොමු කරමින් පිළිතුරු ලිපියක් යොමු කර තිබීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කටයුතු සම්පාදනය කිරීම තිලකසිරි මහතාගේ ඇගයීමට ලක් විය.
ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සී. ඒ. කේ. පරණමාන මහතා විසින් මෙම යෝජනාව වැඩිදුර කටයුතු සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වෙත යොමු කර ඇත. මැණික් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයන්ට සහ කර්මාන්තයේ සංවර්ධනයට මෙම මැණික් බැංකු සංකල්පය සෘජු දායකත්වයක් ලබා දීමට නියමිතය.














