ශ්‍රී ලංකාව, කලාපීය සහයෝගීතාවයට සහ ජාත්‍යන්තර සබඳතාවන්ට කැපවූ විවෘත හා විශ්වාසනීය හවුල්කරුවෙකු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අද (28) කොළඹදී පැවති ‘ශ්‍රී ලාංකීය-ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ අමතමින් ඇය මේ බව සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත මණ්ඩලය (AHK Sri Lanka) සහ කොළඹ ජර්මානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම සමුළුවේ මූලික අරමුණ වන්නේ සමුද්‍රීය සහ සැපයුම් දාම ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව විදේශීය ආයෝජන සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.
සමුළුවේදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ සංචාරක, වෙළඳ, ආයෝජන, තාක්ෂණ හුවමාරු සහ සංවර්ධන සහයෝගීතාවය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය අතිශය වැදගත් බවයි. විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය, පුහුණුව, පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික පරිවර්තනය සඳහා ජර්මනිය ලබාදෙන දායකත්වය ඇය ඇගයීමට ලක් කළාය.
ශ්‍රී ලංකාව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තරගකාරි ආර්ථික ආකෘතියක් ගොඩනැගීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරතව සිටින බවත්, එහිදී කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් කෙරෙහි ඇතිවිය හැකි සමාජ බලපෑම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් ඇය අවධාරණය කළාය. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බලකාය උපයෝගී කරගනිමින් නව හවුල්කාරිත්වයන් ඇති කරගන්නා ලෙස ජර්මානු ව්‍යාපාරික ප්‍රජාවට ඇය ඇරයුම් කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්, AHK ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන නියෝජිත මාර්ටින් ක්ලෝස් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව සිටියහ.
















