ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැති දැඩි රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ සංචාරක වීසා නිකුත් කිරීමේ කටයුතු යළි ආරම්භ කළ බව බංග්ලාදේශයේ නව ඉන්දීය මහ කොමසාරිස් දිනේෂ් ට්‍රිවේදි මහතා ඩකා අගනුවරදී ප්‍රකාශ කළේය. ඒ අනුව බංග්ලාදේශ වැසියන්ට සිය වීසා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව උදා වී තිබේ. මුල් අදියරේදී ඩකා සහ චැටොගොම් ඇතුළු ප්‍රධාන නගර 5ක පිහිටි මධ්‍යස්ථාන හරහා මෙම වීසා නිකුත් කිරීම සිදු කෙරෙන අතර, ඉදිරියේදී සෙසු නගර දක්වා ද එම පහසුකම් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම පියවර හරහා සංචාරක, ව්‍යාපාරික සහ පවුලේ අවශ්‍යතා සඳහා ඉන්දියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටි දහස් සංඛ්‍යාත බංග්ලාදේශ වැසියන්ට සහනයක් සැලසෙන අතර දෙරටේ සබඳතා යළි ශක්තිමත් වනු ඇතැයි මහ කොමසාරිස්වරයා විශ්වාසය පළ කරයි.
2024 අගෝස්තු මාසයේදී බංග්ලාදේශයේ අවාමි ලීග් රජය බිඳ වැටීමෙන් පසු හිටපු අගමැතිනිය වූ ෂෙයික් හසීනාට ඉන්දියාව දේශපාලන රැකවරණ ලබා දීමත් සමඟ දෙරට අතර සබඳතා පළුදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශයේ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථාන සහ හින්දු භක්තිකයන්ගේ දේපළවලට ප්‍රහාර එල්ල වූ අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එහි වෙසෙන හින්දු ජාතිකයන් ඝාතනයට ලක්වීමත් සමඟ තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරුණි. ඊට ප්‍රතිචාර ලෙස නවදිල්ලියේ පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයට ද ප්‍රහාර එල්ල වී තිබූ පසුබිමක, මෙම නව වීසා ක්‍රියාවලිය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ධනාත්මක පියවරක් ලෙස සැලකේ.
















