ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (28) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණි. එහිදී දිවුරුම්පිට සාක්ෂි දුන් ඇය කියා සිටියේ සිය නම වෙනස් කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ඉදිරිපත්ව ඇති අයදුම්පතේ දැක්වෙන අත්අකුරු හෝ අත්සන තමාගේ නොවන බවයි.
එම අයදුම්පත ඉදිරිපත් කළ බව කියන දිනයේ තමා විදේශගතව සිටි බවත්, එහි දක්වා ඇති නුගේගොඩ ලිපිනයේ තමා කිසි දිනක පදිංචිව සිට නැති බවත් ඇය අධිකරණය හමුවේ පැවසුවාය. තමන් අවස්ථා දෙකකදී නම වෙනස් කළ බව පිළිගත් ඇය, මුලින් ‘නයනා සමන්මලී’ ලෙස තිබූ නම පසුව ‘ඩයනා නටාෂා කැකුණදුර’ ලෙසත්, අවසානයේ පියාගේ වාසගම සහිතව ‘ඩයනා ගමගේ’ ලෙසත් වෙනස් කළ බව ප්‍රකාශ කළාය. විත්ති පාර්ශවයේ සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් සතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මෙහිදී අධිකරණය නියෝග කළ අතර, නඩුව වැඩිදුර විභාගය සඳහා කල් තබන ලදී.















