අපරාධ මැඩලීම සඳහා තවත් අණ පනත් ගණනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත, 2007 පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වන නීති සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ඒ අතර වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහාද පියවර ගනිමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කර ඇති අතර, අපරාධ යුක්ති ක්‍රමයට සම්බන්ධ සියලු ආයතන තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් යුක්තිය ඉටුවීමද ප්‍රමාද වන බවත්, නඩු විභාග දීර්ඝ වීමෙන් ජනතාව පීඩාවට පත්වන අතර පවුල් ජීවිත පවා බලපෑමට ලක්වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහුට අනුව 2021 වසරේ නඩු 1,096,118ක් පැවති අතර, මේ වනවිට එම සංඛ්‍යාව 1,122,118ක් දක්වා ඉහළ ගොස් තිබේ.
















