මන්නාරම දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු සොයාබැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මැයි 25 දින මන්නාරමේ විශේෂ සංචාරයක නිරත වූහ.
මෙහිදී මුල්ලිකුලම, සිලාවතුර, තලෙයිමන්නාරම, වංකාලෙයිපාඩු සහ පල්ලිමුනෙයි යන ප්‍රදේශවල පිහිටි නාවික හමුදා කඳවුරු භූමි තුළ පවතින සිවිල් ජනතාවට අයත් ඉඩම් නිරීක්ෂණය කරන ලදී. පසුව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ආගමික පූජකවරුන් සහ ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කරමින්, විශේෂයෙන්ම නාවික හමුදා කඳවුරු තුළ පිහිටි පාසල් සහ ආගමික ස්ථාන වැනි මහජන භාවිතයට අදාළ ඉඩම් නිදහස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගැනීමට පියවර ගැනුණි.
අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, මෙම ගැටළු ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කර ජාතික ආරක්ෂාවට හානි නොවන අයුරින් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බවයි. නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීමේ ආරක්ෂක කටයුතුවලට බාධාවක් නොවන පරිදි ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
පසුගිය වසරේ උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතු ඉඩම් අක්කර 994ක් සිවිල් ජනතාව වෙත නිදහස් කර ඇති අතර, මෙම වසර තුළ මන්නාරම ඇතුළු උතුරු පළාතේ තවත් අක්කර 551ක් නිදහස් කිරීම පිළිබඳව සොයාබලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් ඇතුළු මහජන නියෝජිතයින්, නාවික හමුදාපති කාංචන බානගොඩ, යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝ, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන් යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් සහභාගී වූහ.













