ශ්‍රී ලංකා රජයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව යහපත් වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම වසරේ ජනවාරි මාසය තුළ රජයේ සමස්ත ආදායම 35%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි. පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී රුපියල් බිලියන 346.58ක් ලෙස සටහන් වූ රජයේ ආදායම මෙම වසරේ ජනවාරි වන විට රුපියල් බිලියන 468.75ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ආදායම් වර්ධනයත් සමඟ මෙරට අයවැය හිඟය ද රුපියල් බිලියන 3.8 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. විශේෂයෙන්ම රජයේ බදු ආදායම රුපියල් බිලියන 434.23ක් දක්වා 35%කින් වර්ධනය වී ඇති අතර බදු නොවන ආදායම ද රුපියල් බිලියන 34.52 දක්වා 37.5%ක ඉහළ යාමක් පෙන්වයි.
අදාළ කාලසීමාව තුළ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 472.56ක් ලෙස සටහන් වන අතර ඒ අනුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 3.81ක් දක්වා අවම වී තිබීම ආර්ථික වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයකි. මෙම මූල්‍ය වර්ධනය රටේ ඉදිරි ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට ඉවහල් වන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. ආදායම් වැඩි කරගනිමින් වියදම් පාලනය කිරීම හරහා මෙලෙස අයවැය හිඟය අවම කරගැනීමට හැකිවීම රටේ මූල්‍ය විනය යහපත් මට්ටමකට පැමිණ ඇති බව පෙන්වන පැහැදිලි ලක්ෂණයකි.














