අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුත් පළමුවැනි ශ්‍රේණියේ දෙමළ පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි. පෞද්ගලික ප්‍රවාහන ආයතනයක් මගින් නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මෙම පොත් 19,892ක් නියමිත පරිදි භාරදී නොමැති අතර, මේ වන විට තලංගම පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර ඇත. අස්ථානගත වූ පොත් තොගයේ වටිනාකම අදාළ ප්‍රවාහන ආයතනයෙන් අය කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
















