ශ්‍රී ලංකාවට මීළඟ අදියරේදී මුහුණදීමට සිදුවන්නේ දැඩි කොන්දේසි සහිත ජී.එස්.පී. ප්ලස් (GSP Plus) නව ක්‍රමයකට බැවින්, එම නව රෙගුලාසි යටතේ සහනය තවදුරටත් ලබාගැනීමට ශ්‍රී ලංකාව විධිමත් ලෙස නැවත අයැදුම් කළ යුතු බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි.
එසේ නැවත අයැදුම් නොකළහොත්, 2029 වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාවේ අපනයන සඳහා සාමාන්‍ය එම්.එෆ්.එන්. (MFN) තීරුබදු අදාළ වීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි බවට එම සංසදය අනතුරු අඟවයි.
යුරෝපා සංගම් කවුන්සිලය විසින් ඉකුත් මැයි 22 වැනිදා අනුමත කරන ලද සංශෝධිත ජී.එස්.පී. රෙගුලාසිය යටතේ, 2027 ජනවාරි 01 වැනිදා සිට සහන ලබන රටවල් වඩා පුළුල් ජාත්‍යන්තර වගකීම් මාලාවකට අනුකූල විය යුතුය.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සන්නද්ධ ගැටුම්වලදී ළමා ආරක්ෂාව, කම්කරු පරීක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, පැරිස් දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය මෙම නව වගකීම් අතරට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවට දැනට හිමි ජී.එස්.පී. ප්ලස් සහන 2028 වසර අවසානය දක්වා ක්‍රියාත්මක වුවද, එය ඉන්පසුව ස්වයංක්‍රීයව අලුත් නොවන අතර, පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ මෙම සහන භාවිත අනුපාතය පවතින්නේ සියයට 49 ත් 59 ත් අතර මට්ටමකය.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර නව නීතිමය රාමුවක් හඳුන්වා දීම, මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් සුරැකීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සහ නියාමනය නොකළ ධීවර කටයුතු වැළැක්වීම වැනි කරුණු සම්බන්ධයෙන් රජය සැබෑ ප්‍රගතියක් පෙන්විය යුතු බව ඇඟලුම් සංගම් සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.














