#දේශීය

ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි

ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි ලාඕස් වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානය වෙත භාර දෙන ලදි.

ඒ පසුගිය 30 වනදා පැවති විශේෂ උත්සවයක් අතරතුර ල බුජේ හි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි.

ප්‍රංශ ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් ප්‍රංශය වෙත සර්වඥ ධාතූන් වහන්සේ පිළිගැන්වීම මගින් දෙරට අතර පවතින බෞද්ධ හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවයි.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සාමය සහ ශාන්තිය උදාකර දෙමින් ගෞතම බුදුන් වහන්සේ වදාළ ධර්මය පතළ කිරීමට ශ්‍රී ලංකාව හැකි සෑම සහයෝගයක්ම ප්‍රංශය වෙත ලබාදෙන බවද තානාපතිනිය ප්‍රකාශ කළා ය. මෙය ජාතීන් අතර බෞද්ධාගමික සහයෝගීතාව වර්ධනය කරන ඓතිහාසික සිදුවීමක් බව පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන් සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ ලාඕසයේ වේළුවනාරාම බෞද්ධ විහාරයේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන්, සර්වඥ ධාතූන් වහන්සේ ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙත සිය ස්තුතිය පළ කළ අතර, සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ලාඕසයේ බැතිමතුන් නොඉවසිල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ ලාඕසයේ වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම ලාඕසයේ බැතිමතුන් සහ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *