අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය. විනය පරීක්ෂණයකින් පසු එම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බව ඔහු සහතික විය.
තම පක්ෂය තුළ කිසිදු අපරාධකරුවෙකුට හෝ වරදකරුවෙකුට ඉඩක් නොමැති බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, වැරදි කරන ඕනෑම අයෙකුට දඬුවම් ලැබිය යුතු බවත්, ඒ සඳහා ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය යන භේදයක් නොමැති බවත් වැඩිදුරටත් කියා සිටියේය.
තමා කිසිම දිනක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ අපරාධකරුවන් ආරක්ෂා නොකරන බවත්, වැරදි කරන පුද්ගලයන්ට පක්ෂයෙන් කිසිදු රැකවරණයක් හෝ ආශිර්වාදයක් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
















