ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම සඳහා ස්ථීර විසඳුම් ලබා දීමටත්, ඒ වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අය-වැය ප්‍රතිපාදන 2027 වසරේදී වෙන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ 2026 ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනය සහ 2027 අය-වැය සැලසුම් පිළිබඳව පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
ජල සම්පාදනය සහ නිවාස සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු වූ ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. මහනුවර–උතුර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, අඹතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අනුරාධපුර–උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ජල ව්‍යාපෘතීන්හි ක්‍රියාකාරිත්වය සහ ඉදිරි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින අකාර්යක්ෂමතාව අවම කිරීම සඳහා විවිධ අමාත්‍යාංශ යටතේ එකම විෂයට අදාළව පවතින ආයතන සමාලෝචනය කිරීමටත්, ඵලදායීතාවෙන් තොර ආයතන බැහැර කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. මෙහිදී යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසත්, අඩු ආදායම්ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය. ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ නමින් ක්‍රියාත්මක වන රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ ඉදිරි ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
















