නැගෙනහිර පළාතට මෙන්ම යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මොනරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා හෙට (22 සෙනසුරාදා) දිනයේ බලපැවැත්වෙන පරිදි උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (21) පස්වරු 04.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) ඇතැම් ස්ථානවලදී ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ දිගින් දිගටම එළිමහනේ රැඳී සිටීම සහ දැඩි වෙහෙසකාරී කටයුතුවල නිරත වීම මඟින් අධික තෙහෙට්ටුව මෙන්ම ක්ලාන්තය සහ පේශි පෙරළීම් (Heat Cramps) ඇතිවීමේ අවදානමක් පවතී.
මේ හේතුවෙන් එළිමහනේ සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, නිතර සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. එමෙන්ම දැඩි එළිමහන් කටයුතු සීමා කරන ලෙසත්, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














