අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (13) පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා ප්‍රකාශ කළේය.
වාන් දමන ප්‍රධාන ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර ඒ හරහා තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් අදාළ ජලාශ අවට වෙසෙන ජනතාව ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














