ගෝලීය පරිසර පහසුකම් අරමුදලේ (Global Environment Facility) 8 වන මහා සභා සැසිය (GEF-8 Assembly) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා සහභාගි වී තිබේ. මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුව 2026 ජූනි මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් (Samarkand) නුවරදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සමුළුවේ ප්‍රධාන මහ සැසිය අමතමින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය (National Statement) ඉදිරිපත් කළ පරිසර ලේකම්තුමා, ලංකාව සතු සුවිශේෂී ජෛව විවිධත්වය පිළිබඳව ලෝක අවධානය යොමු කළේය. එසේම ගංවතුර, නියඟ, නායයෑම්, වෙරළ ඛාදනය මෙන්ම පරිසර දූෂණය ඇතුළු දේශගුණික විපර්යාසවල සෘජු බලපෑම් හේතුවෙන් වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්ත පාරිසරික අභියෝගයන් ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඉදිරි පාරිසරික සැලසුම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳව පරිසර ලේකම්වරයා මෙසේ කරුණු පැහැදිලි කළේය.
“ජෛව විවිධත්ව සංරක්ෂණය, දේශගුණික ක්‍රියාමාර්ග, පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සහ ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් GEF අරමුදලෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති දායකත්වය අප බෙහෙවින් අගය කරනවා. ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත GEF-9 වැඩසටහන් චක්‍රය යටතේ ලංකාවේ වනාන්තර, තෙත්බිම්, කඩොලාන හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීමටත්, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් ප්‍රවර්ධනය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. එසේම දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය, තිරසාර භූමි කළමනාකරණය වැනි ප්‍රමුඛතා ඔස්සේ දේශගුණය, ජලය සහ පරිසර දූෂණය සම්බන්ධ අභියෝග ඒකාබද්ධව විසඳීමට ශ්‍රී ලංකාව සූදානම්.”
මෙම සමුළුව අතරතුර කාලය තුළ ලේකම්තුමා පාරිසරික ආයෝජනවල ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සහ ගෝලීය පාරිසරික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැවැති “Accelerating Delivery for Environmental Outcomes” සහ “How Can the GEF Leverage the Conventions and Its Family of Funds to Deliver on the 2030 Goals” යන ඉහළ පෙළේ විද්වත් සාකච්ඡාවලට ද සක්‍රීයව දායක විය.
















