21 වන ආසියා – පැසිෆික් සහයෝගීතා මෙහෙයුම් කමිටු රැස්වීම (CASP – AP) සහ 14 වන ආසියා – පැසිෆික් ගුවන් ආරක්‍ෂක සම්බන්ධීකරණ සංසදය අද පෙරවරුවේ මීගමුව බ්ලූ වෝටර් හෝටල් පරිශ්‍රයේදී (Gold Sands) උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ජූනි 23දා සිට 26දා දක්වා සිව්දිනක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහභාගි වූ අතර, ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්‍ෂ ටාඕ මා මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා එක්වූහ.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස, 2026 – 2027 කාල සීමාව සඳහා CASP – AP මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට පිරිනමන ලදී. ඒ අනුව එම ගෞරවනීය තනතුර සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රුඹුක්වැල්ල මහතා අද දින පත් කරනු ලැබීය. රටවල් 21ක් නියෝජනය කරමින් නියෝජිතයින් 80 දෙනෙකු සහභාගී වන මෙම රැස්වීමේ සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.
මෙම සිව්දින සමුළුව තුළදී ගෝලීය ගුවන් ආරක්‍ෂක අභියෝග, නව ප්‍රවණතා, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. මෙමඟින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා පද්ධතිය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු වන අතරම, සමුළුවට සහභාගී වන විදේශීය නියෝජිතයින් වෙනුවෙන් සංවිධානය කර ඇති සංචාරක වැඩසටහන් හරහා මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගැනීමට ද අනගි අවස්ථාවක් උදාවනු ඇත.
















