සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කරමින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද පිටපත් සහිතව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. පසුගිය 6 වැනිදා ගැසට් මගින් ප්රකාශයට පත් කර මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ මැඩලීම අරමුණු කරගත් නීති සම්පාදනයක් අවශ්ය බව කොමිෂන් සභාව පිළිගන්නා නමුත්, මෙම පනත් කෙටුම්පත ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට සහ රට පාර්ශ්වකරුවෙකු වන ජාත්යන්තර මානව හිමිකම් ගිවිසුම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත. එය 1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා දැඩි හා ම්ලේච්ඡ විය හැකි බව පෙන්වා දී ඇති කොමිෂන් සභාව, ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වන වගන්තිය මෙමඟින් ප්රතිනිර්මාණය කර ඇති බවද පෙන්වා දී තිබේ.
බරපතල අපරාධයකට සම්බන්ධ හෝ හවුල් වන සැකකරුවෙකු රඳවා තබා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් නියෝග ලබා ගැනීමට පොලිසියට මෙම පනතින් බලය ලැබෙන අතර, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ පච්ච සටහන්, නැතහොත් එවැනි සාමාජිකයින් සමඟ සරල ඇසුරක් පැවැත්වීම පවා මීට ඇතුළත් වීම බරපතළ තත්ත්වයක් බව කොමිෂන් සභාව අවධාරණය කරයි. මීට අමතරව, සැකකරුවෙකු නිදහස් කළ යුතුද, ඇප මත මුදා හැරිය යුතුද, නැතහොත් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුද යන්න තීරණය කිරීමේ සාමාන්ය අභිමතානුසාරී බලය අධිකරණයෙන් ඉවත් කර තිබීමද කොමිෂන් සභාව දැඩි ලෙස නිරීක්ෂණය කළ ප්රධාන ගැටළුවක් බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.














