කර්‌මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්‌ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරියගේ සහභාගීත්වයෙන් ඉන්දීය වාණිජ හා කර්‌මාන්ත මණ්ඩල සම්මේලන (FICCI) ව්‍යාපාරික වටමේස සාකච්ඡාව ඊයේ (16) නව දිල්ලියේදී සාර්ථකව පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. FICCI සංවිධානයේ සභාපති ඩෙවින් නාරං (Devin Narang) මහතා ඇතුළු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජිතයින් රැසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කළ හැකි ප්‍රමුඛ ක්ෂේත්‍ර සහ ඒවායේ පවතින වාණිජ විභවයන් පිළිබඳව දෙපාර්‌ශ්වය අතර පුළුල් ලෙස අදහස් හුවමාරු වී තිබේ.
මෙහිදී ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී ඇති දේශපාලන ස්ථාවරත්වය සහ දූෂණය අවම කිරීම සඳහා රජය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කළේය. රට තුළ විනිවිදභාවයෙන් යුතු සුරක්ෂිත ආයෝජන පරිසරයක් නිර්‌මාණය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නව රජය විසින් දේශීය හා විදේශීය ආයෝජකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇති ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති ද සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්ම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සහ ආරම්භ කිරීම සඳහා මීට පෙර පැවති දීර්‌ඝ පරිපාලන කාලය මේ වන විට සැලකිය යුතු ලෙස කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත්, ආයෝජකයින් මුහුණ දෙන බාධක ඉවත් කිරීමට රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් සාර්‌ව ආර්ථික ස්ථාවරත්වය සහ නව රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඉන්දීය ප්‍රාග්ධන ආයෝජකයින්ට විශ්වාසදායක අවබෝධයක් ලබා දීමට මෙම සාකච්ඡාව බෙහෙවින් ඉවහල් වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉන්දියාව වැනි කලාපීය ආර්ථික බලවතෙකුගෙන් සෘජු විදේශ ආයෝජන (FDI) මෙරටට ආකර්ෂණය කරගැනීම, වත්මන් මූල්‍ය අර්බුදයෙන් මිදීමට සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට අතිශය තීරණාත්මක සාධකයක් වේ. නව දිල්ලියේදී තැබූ මෙම මූලික අඩිතාලම හරහා ඉදිරි මාස කිහිපය තුළදී තාක්ෂණික, බලශක්ති සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි දැවැන්ත ඉන්දීය ව්‍යාපාරික ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














