ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මධ්‍යම පළාතේ සමාජ-ආර්ථික සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මහනුවර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් වී.එස්. සාරන්‍යා සහ මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හරෂ සුරංග ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් අතර මෙම හමුව සිදුවිය.
සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක, සංස්කෘතික සහ ව්‍යාපාරික යන ප්‍රධාන ක්ෂේත්‍රවල දියුණුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත. මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාරගත් වෛද්‍ය හරෂ සුරංග ප්‍රනාන්දු මහතා වෙත ඉන්දීය සහකාර මහ කොමසාරිස්වරිය සිය සුබපැතුම් ද එකතු කර තිබේ.














