ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් බංග්ලාදේශයේ ශ්රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි සහ බංග්ලාදේශ සංචාරක සංවිධායකයන්ගේ සංගමයේ (TOAB) සභාපති මොහොමඩ් හනීෆ් මහත්වරුන් ප්රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් ඩකාහි පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ. දෙරටේ සංචාරක ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් අතර සක්රිය සබඳතා පවත්වා ගැනීම, ආයතනික සබඳතා ශක්තිමත් කිරීම, සංචාරක සංවිධායකයන් අතර සහයෝගීතාව ප්රවර්ධනය කිරීම සහ ව්යාපාරික හවුල්කාරීත්වයන් පුළුල් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
ඉදිරියේදී පැවැත්වෙන 14 වැනි බංග්ලාදේශ සංචාරක ප්රදර්ශනයට (BTTF 2026) ශ්රී ලංකාවේ සංචාරක නියෝජිතයන්ගේ සහ සංචාරක සංවිධායකයන්ගේ සහභාගීත්වය ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, එළඹෙන ඔක්තෝබර් 29 සිට 31 දක්වා ඩකා නුවර බංග්ලාදේශ-චීන මිත්රත්ව සම්මන්ත්රණ මධ්යස්ථානයේදී පැවැත්වෙන මෙම ප්රදර්ශනය සඳහා සහභාගී වන ලෙස TOAB නියෝජිතයන් විසින් ශ්රී ලංකා පාර්ශ්වයට ඇරයුම් කර තිබේ. වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්රදර්ශනය සඳහා සංචාරක නියෝජිතයන්, රජයේ සංචාරක බලධාරීන්, ගුවන් සේවා සහ හෝටල් ඇතුළු බොහෝ පාර්ශ්වකරුවන් සහභාගී වන අතර, එමඟින් දෙරටේ ව්යාපාරිකයන්ට සහ සංචාරක ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන්ට සෘජු සබඳතා ගොඩනඟා ගැනීමට මෙන්ම හවුල්කාරීත්වයන් වර්ධනය කර ගැනීමට කදිම අවස්ථාවක් හිමි වන බව පෙන්වා දී ඇත.
















