රජයක් වශයෙන් නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය මෙන්ම ආයතන අතර සම්බන්ධතාව ගොඩනැඟීමේ වගකීම රජය උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළ අතර, නව ව්‍යවසායකත්වය හා තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතන එක්ව තාක්ෂණික උපකාරක පද්ධති (Incubation Centres) ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා අංශය මඟින් විශ්වවිද්‍යාල ආශ්‍රිතව මෙම මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, මූලාකෘති සංවර්ධනය, නිෂ්පාදන සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය සඳහා අවශ්‍ය උපදේශන සහ තත්ත්ව පරීක්ෂණ සේවා මේ හරහා ලබා දේ.
නවෝත්පාදකයන් වෙනුවෙන් සහනදායී ප්‍රාග්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) හරහා ‘Innovation Voucher Schemes’ ක්‍රියාත්මක වන අතර, SLIC ආයතනය ‘Innovative Bis’ ණය සහනාධාර සේවාව මඟින් අඩු පොලී අනුපාත යටතේ ප්‍රාග්ධනය සපයයි. ආරම්භක ව්‍යවසායකයන් (Startups) සඳහා රුපියල් මිලියනය දක්වා ආරම්භක ප්‍රාග්ධනය ලබා දීමට අය-වැය යෝජනා සකස් කර ඇති බවත්, ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ පර්යේෂණ ව්‍යාපෘති 16ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















