විදෙස් රටවල සැඟවී සිටින, මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද (13) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
විදෙස්ගතව සිටින අපරාධකරුවන් 93 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, 2024, 2025 සහ මෙම වසරේ ගතවූ කාලය තුළ රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ. ඊට අමතරව, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකි වී ඇත.
මෙලෙස ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු දේපොළ රජයට පවරාගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක, 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක සහ 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 839ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජය සතු කරගැනීම සඳහා වන මූලික නීතිමය ප්‍රවේශයන් ආරම්භ කර ඇත.














