ශ්‍රී ලංකාවේ අද්විතීය ජෛව විවිධත්වය සහ සියුම් පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමේ අරමුණින් සකස් කළ නව ‘ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (10) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ නවීන ජෛව තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කෙරෙන ජාන වෙනස් කළ ජීවීන් (GMOs/LMOs) හේතුවෙන් මෙරට ස්වාභාවික පරිසරයට, ජෛව විවිධත්වයට මෙන්ම මානව සෞඛ්‍යයට ඇති විය හැකි අනපේක්ෂිත අවදානම් පාලනය කිරීමයි. මෙවැනි තාක්ෂණයන් හඳුන්වා දීමේදී සහ ඒවා භාවිත කිරීමේදී දැඩි නියාමන රාමුවක් තුළ කටයුතු කිරීම මෙම නව නීතිය හරහා සිදුවේ.
















