අගෝස්තු 26 දිනට යෙදුණු UNCCD COP17 සමුළුවේ “භූමිය සහ ජනතාවගේ දිනය” (Land & People Day) දිනට සමගාමීව, මෙරට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මි පැටබැදි මහතා සහ ඉරාන කෘෂිකර්ම අමාත්‍ය ගෝලාම්රේසා නූරි (Gholamreza Nouri) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී.
ඉරාන කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින වසර 64ක දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව විසින් මෑතකදී ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවලදී ඉරානය විසින් ලබාදුන් මානුෂීය සහයෝගය පිළිබඳව ඉරාන අමාත්‍යවරයා වෙත කෘතඥතාව පළ කෙරුණු අතර, දෙරට අතර කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, තේ නිෂ්පාදනය සහ ධීවර කර්මාන්තය ආශ්‍රිත සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා විය.
විශේෂයෙන්ම ඉරානයේ කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ඉරාන පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ළඟදීම යොමු කිරීමට කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කෙරිණි. එමෙන්ම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුම, අත්දැකීම් සහ නවෝත්පාදන හුවමාරු කරගැනීම සඳහා දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය විය. ඒ සඳහා දෙරටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් කෘෂිකාර්මික තාක්ෂණික කමිටුවක් ස්ථාපිති කිරීම පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ ඉරාන සහයෝගයෙන් ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක වන වාරිමාර්ග ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.
තවද, UNCCD COP17 සමුළුවේදී අවධාරණය කෙරෙන භූමි හායනය, කාන්තාරීකරණය, නියඟය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන බලපෑම් සඳහා රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාව පළ විය. දේශගුණික විපර්යාස සහ පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින මිත්‍රත්වය ඉදිරියටත් ප්‍රායෝගික සහයෝගීතාවක් බවට පත් කර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.














