පවතින වර්ෂාපතනය සහ ඉදිරි කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින් කැලණි, කළු, ගිං සහ නිල්වලා ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
පසුගිය දිනවල ලැබුණු වර්ෂාව හේතුවෙන් තෙත් කලාපයේ ඇතැම් ගංගා ද්රෝණිවල ජලමට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කර තිබේ. පොල්අතුමෝදර සහ බෙන්තර වැනි කුඩා ගංගා ද්රෝණිවලද ජලමට්ටම් ඉහළ යාමේ තත්ත්වයක් පවතින බව ඔහු පෙන්වා දී ඇත.
මේ අතර, ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්රිතව වර්ධනය වන කැලඹිලි තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් 12 වැනිදා රාත්රියේ සිට ඉදිරි දින තුන තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි අතර, ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ලැබිය හැකි බව වාර්තා වේ. කෙසේ වෙතත්, එය ප්රබල ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා නොකරන බවද සඳහන් වේ.
වර්ෂාවත් සමඟ ගංගා ජලමට්ටම් හදිසියේ ඉහළ යා හැකි බැවින් ගංගා ආශ්රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටින ලෙස බලධාරීහු ඉල්ලා සිටිති. ධීවර හා නාවික ප්රජාවද නවතම කාලගුණ නිවේදන නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුය.
















