ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ ‘ජපාන තොරතුරු තාක්ෂණ සතිය 2026’ (Japan IT Week Spring 2026) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගම් 10ක් සාර්ථකව සහභාගී විය. අප්‍රේල් 6 සිට 10 දක්වා ටෝකියෝ හි පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේ ‘ශ්‍රී ලංකා මණ්ඩපය’ (Sri Lanka Pavilion) හරහා කෘත්‍රිම බුද්ධිය (AI), අන්තර්ජාල උපාංග (IoT) සහ මෘදුකාංග සංවර්ධනය වැනි නවීන තාක්ෂණික විසඳුම් රැසක් ලෝකයට ඉදිරිපත් කෙරිණි.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මධ්‍යස්ථාන සහ නව ව්‍යවසායක මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරත වූ අතර, ජපාන ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා වට (B2B Matching) රැසක් ද පවත්වන ලදී. මෙමගින් මූලිකව ව්‍යාපාරික අවස්ථා 300කට අධික ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වී ඇති අතර, ඉදිරි කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2කට වඩා වැඩි ව්‍යාපාරික විභවතාවක් නිර්මාණය වනු ඇති බවට අපේක්ෂා කෙරේ. ජපාන වෙළඳපල තුළ ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ශක්තිමත් පදනමක් සැකසීමට මෙම වැඩසටහන මහත් පිටුවහලක් විය.














