ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මෙන්ම JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත ෂිගෙකි හොන්සු යන මහත්වරුන් ද සහභාගී වූහ.
මෙහිදී ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීම සහ Set-Top Boxes දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව මඟින් ආනයන මත රඳා පැවැත්ම අවම කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ අනාගත කෘතිම බුද්ධි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් (National AI Data Centre) පිහිටුවීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන්, පුහුණු කිරීම් මෙන්ම තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.














