ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බළල් පවුලේ ප්‍රධාන සත්ව විශේෂ ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති “ජාත්‍යන්තර බළල් පවුලේ සතුන්ගේ සන්ධානයට” (International Big Cat Alliance – IBCA) ශ්‍රී ලංකාව නිල වශයෙන් එක්වී තිබේ.
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරයේදී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ සාකච්ඡා අප්‍රේල් 19 වන දින දෙරට අතර පවත්වනු ලැබීය.
මෙම වැඩපිළිවෙළ මගින් කොටියා, සිංහයා, දිවියා, හිම දිවියා, චීටා, ජගුවර් සහ පූමා යන ප්‍රධාන සත්ව විශේෂ හතක් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම සන්ධානයට එක්වීම හරහා වනජීවී සහ ජෛව විවිධත්ව සංරක්ෂණ කටයුතුවලදී ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවේ. මීට අමතරව සෞඛ්‍ය, නිවාස සහ දුම්රිය මාර්ග පුනරුත්ථාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ද ඉන්දියාවේ සහය ලබාගැනීමට මෙහිදී එකඟතාව පළ වී ඇත.
ලෝකයේ බළල් පවුලේ විශාල සතුන් බහුතරයක් වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින පසුබිමක, කලාපීය සහයෝගීතාවය තුළින් ඔවුන් සුරැකීමට ගත් මෙම පියවර ඉතා වැදගත් වේ.














