යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිවෙකු පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට ගෙන එන එකක් නොව, නඩු කටයුතු කඩිනමින් විභාග කර ජනතාවට යුක්තිය ඉටු කිරීම අරමුණු කරගත් සංශෝධනයක් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අද (24) පාර්ලිමේන්තුවේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම සංශෝධන හුදකලා පියවරක් නොවන බවත්, 2024 වසරේ සිට රජය ආරම්භ කළ පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ කොටසක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තුළ අධිකරණ හා නීති පද්ධතිය ක්‍රියාත්මක විය යුතු මූලධර්ම කිහිපයක් සඳහන් කර ඇති බවද ඔහු පැවසුවා. නීතියේ සාධාරණ හා සමාන ආරක්ෂාව, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව, ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය එම මූලධර්ම අතරට අයත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම මූලධර්ම මත පදනම්ව ජනතාවට ලබාදුන් පොරොන්දුවලින් කොටසක් මෙම පනත් කෙටුම්පත් දෙක හරහා ඉටු කෙරෙන බවද ඔහු කියා සිටියා.
යෝජිත සංශෝධන සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂයට සිය අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබුණද, ජනතාව වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබෙනවා.
















