ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ පක්ෂ කාර්යාලය වන “අපේ නිවහන” පරිශ්රයේ පවතින තත්ත්වය වෙනස් කිරීම සහ එහි භුක්තිය තෙවැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් ගම්පහ අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන මහතා අද (21) වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගොනු කළ පැමිණිල්ලේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ දේපළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් බලහත්කාරයෙන් සහ නීතිවිරෝධීව රැඳී සිටින බවට පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා.
2005 වසරේදී පක්ෂ අරමුදල් යොදා රුපියල් ලක්ෂ 8කට මිලදී ගත් බව කියන මෙම දේපළ, පසුව “ගම්පහ අපේ නිවහන” නමින් පක්ෂ කාර්යාලයක් ලෙස සංවර්ධනය කළ බව පැමිණිල්ලේ සඳහන්. 2011 වසරේදී ජවිපෙන් වෙන්ව ගිය කණ්ඩායම පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවීමෙන් පසු දේපළ සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන ඇති බවද එහි දැක්වෙනවා.
දේපළ සම්බන්ධයෙන් 2018 වසරේදී ගම්පහ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබූ අතර, 2022 පෙබරවාරි 28 වැනිදා ලබාදුන් තීන්දුවෙන් එම දේපළ ජවිපෙ වෙනුවෙන් භාරයක් ලෙස පවත්වාගෙන යන බව තීරණය කර, එය පැමිණිලිකරු වෙත පවරාදීමට නියෝග කළ බව පැමිණිල්ලේ සඳහන්. 2025 වසරේදී දේපළ පැවරීමේ ඔප්පුවක් ලියාපදිංචි කළ බවද එහි දැක්වෙනවා.
කෙසේ වෙතත්, 2025 සැප්තැම්බර් මාසයේදී දේපළේ භුක්තිය ලබාගැනීමට ගිය අවස්ථාවේ විත්තිකරුවන් බාධා කළ බවටද පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විත්තිකරුවන් 20 දෙනෙකු නම් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව සිතාසි නිකුත් කිරීමටද අධිකරණය පියවර ගෙන තිබෙනවා.













