ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 114 වැනි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට (International Labour Conference) සමගාමීව, කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (08) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් එෆ්. හුන්ග්බෝ (Gilbert F. Houngbo) මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. ජූනි 01 වැනිදා ආරම්භ වූ මෙම සම්මේලනය ජූනි 12 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය නවීකරණය කිරීම සහ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් වත්මන් රජය දියත් කර ඇති පුළුල් ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ අතර, එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ILO සංවිධානයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව දන්වා සිටියේය.
මෙහිදී අමාත්‍යවරයා විශේෂයෙන්ම පෙන්වා දුන්නේ සේවා ස්ථාන තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් වැළැක්වීම සඳහා වන ILO C190 සම්මුතියට ශ්‍රී ලංකාව මෑතකදී එකඟත්වය පළ කළ බවත්, ඊට අදාළ නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත්ය. මීට අමතරව ධීවර ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රමිකයන්ට සාධාරණ සහ යහපත් සේවා පරිසරයක් සහතික කිරීම සඳහා වන C188 (Work in Fishing Convention) සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බව පැවසූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය සඳහාම ආරක්ෂිත, සාධාරණ සහ ගුණාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණක් බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් මෑතකාලීනව ගෙන ඇති ප්‍රගතිශීලී පියවරයන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉහළ ඇගයීමට ලක්විය. ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවා සහ තාක්ෂණික සහාය උපරිමයෙන් ලබාදීමට ILO සංවිධානය කැපවී සිටින බව ද හෙතෙම සහතික කළේය.
















