ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අනාගතය අඳුරු කරමින් කාලයක් තිස්සේ ගොවි ජනතාව පීඩාවට පත්කළ බීජ ප්‍රශ්නයට සහ දත්ත හිඟකමට ස්ථිර විසඳුම් ලබාදීමේ අතිශය තීරණාත්මක පියවරක් අද දින දියත් කෙරිණි. බීජ නිෂ්පාදනයේ සහ සහතික කිරීමේ ක්‍රියාවලීන්හි පවතින ප්‍රමාදයන් මෙන්ම ගුණාත්මක බීජ සොයාගැනීමට ඇති අපහසුව නිසා වගාවන් අසාර්ථක වීමෙන් ගොවීන් විඳි වේදනාවට මෙතෙක් නිසි විසඳුමක් නොතිබුණද, නවීන තාක්ෂණය සමඟින් ඒ සියල්ල උඩුයටිකුරු කරන නව ක්‍රමවේදයක් දැන් හඳුන්වා දී තිබේ. දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික විපත් හමුවේ පවා නිවැරදි දත්ත නොමැතිව රජය සහ ගොවීන් පත්වූ අසරණ භාවය මෙම නව පද්ධතියේ අවශ්‍යතාවය ලොවටම කියාපාන ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහය ඇතිව ‘CROPIX’ ඩිජිටල් බීජ නිෂ්පාදන සහ සහතික කිරීමේ පද්ධතිය මෙලෙස නිල වශයෙන් දියත් කරනු ලැබීය. මෙම විප්ලවීය පද්ධතිය හරහා බීජ වගා කරන්නන්ගේ සිට රසායනාගාර සහ ක්ෂේත්‍ර නිලධාරීන් දක්වා සියලු පාර්ශවයන් එකම ජාලයකට සම්බන්ධ වන අතර, තත්‍ය කාලීන (real-time) දත්ත සහිත ජාතික බීජ දත්ත ගබඩාවක් ද මීට ඇතුළත් වේ. බීජ සහතික කිරීමේ සේවාව (SCS) සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය (SPMDC) අතර පූර්ණ සම්බන්ධීකරණයක් ගොඩනැඟීම හරහා ගොවීන්ට තවදුරටත් බීජවල ප්‍රමිතිය පිළිබඳව දෙගිඩියාවෙන් පසුවීමට සිදු නොවන බව ද සහතික කෙරේ.
මෙම වැඩසටහන ආරම්භ කිරීමේදී විවිධ බාධක සහ විවේචන මතු වූ බවත්, ඇතැම් පසුගාමී පාර්ශවයන් මෙවැනි සාධනීය වෙනස්කම් වළක්වාලීමට උත්සාහ කළ බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී දැඩිව අවධාරණය කළේය. මෙම ගුණාත්මක පිම්ම හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට (Digital Economy Blueprint) නව පණක් ලැබෙන අතරම, ගොවීන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරමින් රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි. පෞද්ගලික සහ රජයේ යන දෙඅංශයටම දත්ත මත පදනම් වූ නිවැරදි තීරණ ගැනීමට මඟ පාදන මෙම ඩිජිටල් පරිවර්තනය, ශ්‍රී ලාංකේය කෘෂිකර්මයේ නව යුගයක ආරම්භය වනු නොඅනුමානය.

















