රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් එළිදැක්විණි.
මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීම සිදු කෙරෙන අතර, සහතිකවල සත්‍යතාව ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි විශේෂ QR කේතයක් සහ ආරක්ෂිත උපාංග ඇතුළත් විශේෂිත කඩදාසියක් මේ සඳහා යොදා ගනී. කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මුද්‍රණය කරන ලද පළමු සහතිකය කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා වෙත මෙහිදී ප්‍රදානය කරන ලදී.














