ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සනිටුහන් කරමින් ලබන වසරේ සිට විදුලි දුම්රිය සේවාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. ‘Dream Destination’ වැඩසටහන යටතේ නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය නැවත ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම විදුලි දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කොළඹ-පානදුර, කොළඹ-මාකුඹුර සහ කොළඹ-රාගම යන ප්‍රධාන ධාවන පථ 3 කෙරෙහි අවධානය යොමු කර ඇති බව හෙතෙම පැවසීය. දුම්රිය ක්ෂේත්‍රයේ පවතින දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබා දෙමින් යටිතල පහසුකම් සහ මගී පහසුකම් ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත්, දුම්රිය පද්ධතිය නවීකරණය කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් වෙත යොමුවීමට රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















