රජයක් ලෙස නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් ආණ්ඩුව පූර්ණ සූදානමකින් පසුවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. එම ප්‍රතිපත්ති බිම් මට්ටමින් සාර්ථකව ක්‍රියාවට නංවමින් අදාළ ඉලක්ක කරා ළඟ වීමේ වගකම රාජ්‍ය නිලධාරීන් සතුව පවතින බවද ඒ මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවති ජාතික පශ්චාත් ආපදා හදිසි එන්නත් වැඩසටහනට අදාළ එන්නත් තොග භාරදීමේ අවස්ථාවට එක්වෙමිනි. දිට්වා සුළි කුණාටුවෙන් පසුව පශු සම්පත් ක්ෂේත්රයට ඇති වූ දැඩි හානිය සහ වසංගත රෝග තත්ත්වයන් පාලනය කිරීම මෙහි මූලික අරමුණයි.
ලෝක බැංකු සහයෝගීතාවෙන් ක්‍රියාත්මක “ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය” යටතේ සතුන් අතර සීග්‍රයෙන් පැතිර යන කුර හා මුඛ රෝගය (FMD) සහ සමේ ගැටිති රෝගය (LSD) පාලනය කිරීම සඳහා මෙම හදිසි එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව, 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන (Dairy Hub) හරහා දේශීය කිරි නිෂ්පාදනය තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට සහ දිවයින පුරා සත්ව ගොවිපළවල් 5,035ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.














