ශ්රී ලංකාවේ ධීවර ක්ෂේත්රය තුළ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් පුත්තලම සහ අම්පාර දිස්ත්රික්කවල තරුණයන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය සඳහන් කළේ, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ DVV International Sri Lanka එක්ව, කොළඹ නාරාහේන්පිට පිහිටි National Seafarers ආයතනයේදී දිගුදැල් ධීවර කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහනේ පළමු කණ්ඩායම ආරම්භ කළ බවයි.
මෙම පුහුණුවට ප්රායෝගික පුහුණු සැසි සහ අනුකරණ පුහුණු වැඩසටහන් ඇතුළත් වන අතර, ඒවා දකුණු සමුද්රීය පුහුණු ආයතනයේදී පැවැත්වේ. දිගුදැල් ධීවර කර්මාන්තයේ සේවය කිරීමට අවශ්ය කුසලතා ලබාදීම මෙන්ම ධීවර යාත්රාවල සේවය කිරීමේ වගකීම් සහ මුහුදේ ජීවිතය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම ද මෙහි අරමුණයි.
කර්මාන්තයට ගැළපෙන කුසලතාවලින් තරුණයන් සන්නද්ධ කරමින් ධීවර ක්ෂේත්රයේ රැකියා සඳහා නව මංපෙත් විවෘත කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ බව ජර්මානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඉදිරියේදී තවත් පුහුණු කණ්ඩායම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, ඒ ඔස්සේ වැඩි තරුණ පිරිසකට මෙම ක්ෂේත්රයේ රැකියා සඳහා අවස්ථා පුළුල් කිරීමට නියමිතය.
















