වන අලි සහ ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, වන අලි–මිනිස් ගැටුම පාලනය කිරීමත් අරමුණු කරගනිමින් වනජීවී දෙපාර්තමේන්තුව, ත්රිවිධ හමුදාව සහ අදාළ පාර්ශ්වයන් එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් මූලික තීරණ රැසක් ගෙන ඇත්තේ පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (23) පස්වරුවේ පරිසර අමාත්යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් කේ. වී. නිලන්ත පී. ප්රේමරත්න මහතා ඇතුළු රාජ්ය, ආරක්ෂක සහ පරිසර සංවිධාන නියෝජිතයෝ ඊට එක්වූහ.
මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීම සඳහා ශ්රී ලංකා යුද හමුදා මූලස්ථානය කේන්ද්ර කරගනිමින් විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්යවරුන් සහ ත්රිවිධ හමුදා නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.
අවදානම් කලාපවල සැරිසරන ඇතුන් හඳුනාගෙන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගමන් මාර්ග නිරීක්ෂණය කිරීමටත්, අවශ්ය ස්ථානවල යුද හමුදා විශේෂ ආරක්ෂක අනුඛණ්ඩ යෙදවීමටත් සැලසුම් කර තිබේ.
එමෙන්ම අලි සහ ඇතුන් ඝාතනය කිරීම, හක්කපටස් භාවිතය ඇතුළු වනජීවී අපරාධ වැළැක්වීම සඳහා නීතිමය ක්රියාමාර්ග ශක්තිමත් කිරීම, ගැටුම් පවතින ප්රදේශවල ඒකාබද්ධ හදිසි වැටලීම් තීව්ර කිරීම සහ වනජීවී අපරාධ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ විශ්වාසදායක පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇත.
සතුන් රෝගී වූ අවස්ථාවල මහජනතාව ඒකරාශී වීම පාලනය කිරීම සහ වනජීවී ආරක්ෂාව පිළිබඳ ප්රජා දැනුවත්භාවය වර්ධනය කිරීමද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ. ක්ෂේත්ර රාජකාරි හා සතුන් හැසිරවීම සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ට වනජීවී දෙපාර්තමේන්තුව මඟින් විශේෂ පුහුණුවක් ලබාදීමටද එකඟතාව පළ වී තිබේ.
මෙහෙයුම් සැලසුම් යාවත්කාලීන කිරීම සඳහා සතිපතා දත්ත සමාලෝචනයක් සහ මාසික ප්රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමටද තීරණය කර ඇති අතර, මෙම වැඩපිළිවෙළ කඩිනමින් බිම් මට්ටමින් ක්රියාත්මක කිරීමට නියමිතය.
















